University of Colombo School of Computing, 35, Reid Avenue, Colombo 7, Sri Lanka
Phone : (94–11-) 2589123 , Fax : (94-11-) 2587239
Email: kasun AT ucsc DOT cmb DOT ac DOT lk

Sunday, November 30, 2014

Tsunami and Our Father

සුනාමිය සහ අපේ අප්පච්චී

අපේ අප්පච්චී ගුරුවරයෙකි. අට දෙනෙකු ගෙන් සැදි පවුලක දෙවැනියා වූ ඔහු, අපේ අප්පච්චී මෙන්ම, අප්පච්චී මිය ගිය ඔහු ගේ පවුලේ අප්පච්චී ද විය. ගුරුවරයෙකු වු ඔහු ටියුෂන් ගුරුවයකු නොවූ බැවින්, අප රැක ගැනීම සදහා පොල් තෙල් කම්හලක් ද නඩත්තු කළේය. සුන්දර වෙරලක තිබූ අප නිවස සහ කම්හල මැදින් ගාලු කොළඹ මහා මාර්ගය ඉදිව තිබිණි. මධ්‍ය මහා විද්‍යාලයක ගණිත  ගුරුවරයෙක් වූ ඔහු, තම පුතා විශ්ව විද්‍යලයක පරිගණක ගුරුවරයකු වීම ගැන නිතර අඩම්බර විය.

අපේ නිවස 1994 දෙසැම්බර්
විශ්ව විද්‍යාලයක සහ මුහුදු වෙරලක වෙනස හදුනන මම 2004 දෙසැම්බර් 25 වන දින, සතියක විවේකයකට මහ ගෙදරට පැමිණියෙමි. මා අනුවම යමින් මාගේ ගුරුවරයකු ද, දෙසැම්බර් 25 දින අප නිවසට පැමිණියේය. මහ ගෙදරට ගොඩවැදුනු අවසන් අමුත්තා හැරලීමට මෙන් අප්පච්චී ද ඔහු සමග කොළඹ ගියේය. මහ ගෙදර සහ කම්හල මොහොතකට හෝ හැර යාමට නොනැමෙන අප්පච්චීගේ සිත, කොළඹ නිවසට යාමට එදින නැමුනේ ඇයි දැයි මම නොදනිමි. සොබා දහම ජීවත් විය යුතු මිනිසුන් වෙරලින් ඉවත් කරමින් මිය යායුතු මිනිසුන් වෙරලට ගෙනැවිත් තිබෙනු පසුව මම දුටුවෙමි.

පසුදා උදෑසන තම නිවස සහ කම්හල මුහුදට සේදී යන බව වෙරලින් ඉවත්වූ අපේ අප්පච්වී දැන නොසිටියේය. තව හෝරාවකින් මිය යන බව නොදැන සිටි, මාගේ අසල්වැසියන් කිහිප දෙනෙකුම අප්පච්චී සොයා අප නිවසට පැමිණ, අප්පච්චී කොළඹ ගිය බව අසා නික්ම ගියේය.  වාරකන් සමයට ගාලු පාර වසා රළ පහර ඇදී යන බව මා දැන සිටියද, සුනාමි රළ පහරෙහි දිග පළල මම දැන නොසිටයෙමි. 



අපේ නිවස 2004 දෙසැම්බර්
අපේ ගම - 2004 දෙසැම්බර්
දෙසැම්බර් 26 උදෑසන 9.36 ටසුනාමි රළ පහර විනාඩි කිහිපයක් තුල අප නිවස කඩා දැම්මේ එහි දිග පළල මට කියා දෙමිණි. රළ පහරට හසුව, අප්පච්චී ගොඩ නැගූ ජීවිතය ගසා ගෙන යන අයුරැ මූදිල්ලා ගසක සිට මම බලා සිටියෙමි. අප්පච්චී නිවසේ නොසිටීම, අත දරුවන් දෙදෙනකු සහ බිරිද සමග මූදිල්ලා ගසකට ගොඩ වීම මට පහසු කළේය. තව දුරටත් ජීවත් වීමට මට ඉඩ දෙමින්, සුනාමි රළ පහර අප නිවස සෝදාගෙන, මාසිටි අත්තට පහලින් ගලා ගියේය.  අප්පච්චී සහ ඔහුගේ දරුවන් ගේ ජීවිත පමණක් ඉතුරැ කල සුනාමිය ඔහු ඉපයූ සියලු දේ රැගෙන ගොස් තිබිණි. 

දේපල අත් හැරීමට හැකි මිනිසුන් හට පලා යාමට සුනාමි රළ ලබා දුන් විනාඩි කිහිපය තුල මම ද පලා ගියෙමි. දේපල අත්හැරිමට නොහැකි මිනිසුන්, ගාලු පාරෙහි ධාවනය වුනු මෝටරථ තුල සිටි මිනිසුන්, මරණය පැමිණෙන තෙක් බලා ඉදිණු පලා යන මම දුටුවෙමි. 

සියලු මාර්ග අවහිරව තිබියදීත්, අත දරුවන් දෙදෙනකු සහ බිරිද සමග පන්සලක අතරමං වී සිටි මා සොයා කොළඹ සිට පැමිණීමට අපේ අප්පච්චීට ගත වූයේ හෝරා කිහිපයකි. කිසිවකු නැවත යාමට බිය වූ වෙරළ වෙත අප්පච්චී අප රැගෙන ගියේය. සුනාමි රළ පහරින් පසුව නැවත වෙරළට පැමිණි ප්‍රථම මිනිසා අපෙ අප්පච්චී විය හැකිය. එලෙස පැමිණි අපි, හැට වසරක් තුල අප්පච්චී ගොඩ නැගූ දේපල නොදුටු අතර, මග දෙපස විසිර තිබෙන මළසිරුරු පමණක් දුටුවෙමු.

දේපල නැතිවීම ගැන නොතැවුනු අපෙ අප්පච්චී විසිර තිබූ මළ සිරුරු අතර, අතුරුදන් වූ නෑහිතවතුන් සෙවුවේය. දින කිහිපයකට පසු, කුණුව ගිය තිදෙනකු ගේ මළසිරැරැ ඔහු සොයා ගත්ත ද, පහලොස් දෙනකු ගේ සිරැරැ සොයා ගැන්මට ඔහුට නොහැකි විය.  දේපල නැතිවීම ගැන නොතැවුණු අපේ අප්පච්චීගේ සිත, වැල්ලේ සැගව ගිය නෑහිතවතුන් දහඅට දෙනා ගැන නිතර සැලුන වග මම දනිමි. 

සෝදා ගිය නිවස සහ කම්හල එතැනම නැවත ඉදි කිරීම අප්පච්චීගේ එකම සිහිනය විය. එයට ඉඩ නොදුන් රජය, අපේ ගම රජයේ ඉඩමක නැවත ඉදි කිරීමට පොරොන්දු විය. ඒ සදහා වසරකට අධික කාලයක් නිලධාරී පසුපස ගිය අපේ අප්පච්චීට, අපේ ගම නැවත තනා ගැන්මට හැකි විය. ගම නැවත තැනූව ද, වෙරලින් ඉවත් කල ඒ මිනිසුන්ට රැකියාවක් ලබා දීමට අප්පච්චීට වත් රජයටවත් නොහැකි විය. 


ගම නැවත ඉදිවූ පසු පොල් තෙල් කම්හල නැවත ඉදි කර ගැනීමට, ඔහු ගත් වෙහෙස දුක් මුසු විය. අවසානයේ දී, මාගේ විදෙස් මිතුරකු, කම්හල නැවත ඉදි කිරීමට අප්පච්වීට අත හිත දුන්නේය. වසර දෙකකට පසු කම්හල නැවත ඇරඹීම, අප්පච්වීගේ සිතට යම් සහනයක් ගෙන දුන් බව මම දනිමි. 


අපේ ජීවිත නිසරු කල සුනාමිය, සුනාමිය නොදුටු බොහෝ ජීවිත සරැ කළේය. පොහොසතකූ වූ අප්පච්චී දුප්පත් කල සුනාමිය අලූත් පොහොසතුන් තනන දෙස අප්පච්වී බලා සිටියේය.  මිය යන බව නොදන් මිනිසුන් සුනාමි සහන සොරා කන අයුරැ ද අප්පච්චී බලා සිටියේය. ඒ බව දුටු අපෙ අප්පච්වී, කිසිවෙකුටත් සොරා ගත නොහැකි වස්තුව දැනුම බව අපට නිතර කීවේය. එය හොදින් පැහැදිලි කර දෙමින්, උගත මනා සිල්පය, අප්පච්වී සමග තනි වූ අපේ එකම ගැලවුම් කරු විය. නැති වූ දෑ, නොලැබුනු දෑ ගැන නොසිතූ අපෙ අප්පච්චී, ඉතුරැවූ අධ්‍යාපනය තුලින් ජීවිතය ගොඩ නැගීමට අපට මග පෙන්වීය. එමගින් ඉදිරියට ගිය අපෙ අප්පච්චී නැවත පොහොසතුකු විය.

අපේ නිවස 2014 දෙසැම්බර්

නැවත පොහොසතකු වුව ද, සිදූ වූ සියල්ල නිසා අප්පච්වී දරුණු සිත් වේදනාවක් නිහඩව විද දරා ගෙන තිබිණි.  එම වේදනාව, ඔහු පාකින්සන් රෝගියකු බවට පත් කළේය. සුනාමි නිසා පාකින්සන් රෝගියකු බවට පත් වූ අපේ අප්පච්වී මින් සිව් මසකට පෙර මිය ගියේය.

නිතියෙන් ගැලවී ජිවත් වන සුනාමි සොරුන් හට, සොබාදහමින් ගැලවිය නොහැකි බව මිය යාමට බොහෝ කලකට පෙර අප්පච්චී කීවේය. සුනාමිය නිසා අසරණ වූ මිනිසුන් විකිනීමට පැමිණි මහත්හොරුන් අප්පච්චී පලවා හැරියේය. මළවුන් වැනි වූ සුනාමි සොරුන් ගැන අපේ අප්පච්චී වෛර නොකරන්නට ඇතැයි මම සිතමි. 

අපේ අප්පච්චී
සුනාමි සොරුන් ජීවත් වෙද්දී, සුනාමිය නිසා රෝගී වූ අපේ අප්පච්වී වැනි බොහෝ මිනිසුන් පසුගිය වසර දහය තුල සිතින් දුක් විද මිය යන්නට ඇත. සුනාමිය දා මිය ගිය මිනිසුන් වාසනාවන්තයින් යැයි මිය යාමට පෙර අප්පච්චී කිවේය. එය සත්‍යක් යැයි මට ද දැන් සිතෙන මුත් සුනාමිය සහ අපේ අප්පච්චී අපට කියා දුන් හොදම පාඩම වන්නේ, සොර සතුරන්ට ද, රජ මැතිදුන්ට ද, සොබාදහමට ද උගත මනා සිල්පය රැගෙනයා නොහැකි බවය. 

වසර දහයක් ගෙවී ගොස්, දෙසැම්බර් මස නැවත උදාවී ඇත. සුනාමිය නිසා තවමත් දුක් විදින මිනිසුන් ගැන රටට මතකයක් නැත.  සුනාමිය නිසා මිය ගිය ද, අපේ හදවත් වල සදා ජීවත් වන, අපෙ අප්පච්චී වැනි මිනිසුන් වෙනුවෙන්,  මම මෙම කෙටි සටහන තබමි.



ආචාර්ය කසුන් ද සොයිසා
කොළඹ විශ්ව විද්‍යාලය

Total Pageviews

Popular Posts

Copyright © Dr. Kasun De Zoysa | Powered by Blogger
Design by Viva Themes | Blogger Theme by NewBloggerThemes.com